INTERNATIONALRESULTS

ඇන්ඩ්‍රේ රසල්ගේ මල්වෙඩි සංදර්ශනයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු හතක පරාජයක් අත් විය.

මම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගත් කොදෙව්වෝ එක දිගට පැවැති විස්සයි-20 තරග 8 කදී හත්වැනි පරාජයත් ශ්‍රී ලංකා පිලට උරුම කර දුන්හ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට විශාල පහර කරා යාමට තිබූ අසීරුතාවය කැපී පෙණුනි. ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 120 න් පන්දු 45 කට ලකුණු ලබාගත නොහැකි වූ අතර ඉතිරි පන්දු 75 ටම ඇතුළත් වූයේ හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් පමණි.

බොහෝ අවස්ථාවලදී පිත්තටම ලැබුණු පන්දු වලටද වැරෙන් පහරක් ගසාගැනීමට පිතිකරුවන්ට නොහැකි වූ අතර කුසල් මෙන්ඩිස් දැවී ගියේ පිත්තටම ලැබුණු පන්දුවකට ගැසූ පහරකින් ගිය උඩපන්දුවකිනි.

ඕවර 15 නිමා වන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 104 ක් පමණි. ලකුණු 150 ක් කරා යාමත් අභියෝගයක්ව පැවැති අවස්ථාවක එක්වූ දසුන් ශානක සහ තිසර පෙරේරා අවසන් ඕවර තුනේදී ලකුණු 39 ක් එකතු කරමින් ශ්‍රී ලංකා පිල ලකුණු 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.

වර්තමානයේදී විස්සයි-20 තරගයක් ජයගැනීමට ලකුණු 155 ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ඇරත් කොදෙව් පිල වැනි පාංශූ දේහධාරී, ප්‍රචණ්ඩකාරී, හිත් පිත් නැති පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායමක් හමුවේ විස්සයි-20 විශේෂඥයා වූ මාලිංගගේ පන්දු 4 ක්ම නරඹන්නන් අතර පතිත විය.

අනතුරුව පිටියට පිවිසි ඇන්ඩ්‍රෙ රසල් මුහුණ දුන් පන්දු 4 ක් පමණක් නිදැල්ලේ යවමින් පන්දු 10 කින් ලකුණු 40 ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

ඉතාම පහසු ඉලක්කයක් වූ ලකුණු 155 හඹා යාම පහසුවෙන් සිදු කළ කොදෙව්වෝ පන්දු 18 ක් ඉතිරිව තිබියදී සිය අරමුණ සාක්ෂාත් කරගත්හ. ඒ වෙනුවෙන් මුහුණ දුන් පන්දු 102 න් 8 ක් හයේ පහර වූ අතර තවත් 11 ක් හතරේ පහර ලෙසින් සටහන් විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button