EXCLUSIVE

ශ්‍රී ලංකාවේ දී බින්දුවට දැවී ගිය ලොව හොඳම පිතිකරු.

ඒ 1930 අප්‍රේල් 02 වැනිදා ය. ශ්‍රී ලංකාව සමඟ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම කොළඹ ඕවල්(පී සරවනමුත්තු) පිටියේ දී ටෙස්ට් තරගයක් ක්‍රියාත්මක විය.

මෙම තරගය දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දැක්වීමට නොව ඒ වන විට ලොවම මවිත කරමින් සිටි සුවිශේෂී ක්‍රීඩකයකුගේ පිතිහරඹය දැක බලා ගැනීම සඳහා ය.

පැමිණ සිටි සියල්ලන්ගේම බලාපොරොත්තු බිඳ දමමින් මේ විශේෂ ක්‍රීඩකයා පළමු පන්දුවෙන්ම ක්‍රීඩාගාරය වෙත පියමන් කරන්නට වූයේ ප්‍රේක්ෂකයන්ගේ අත් හිස මතට ගෙන එමිනි. මොහු වෙන කවරෙකුත් නොව මෙතෙක් ලොව පහල වූ විශිෂ්ටතම පිතිකරු සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ය. එන්. එච්. ජෝසප් යැවූ පළමු පන්දුවම කඩුල්ලේ දැවටීමෙන් බ්‍රැඩ්මන් දැවී යන්නේ ලකුණු නොලබාය. මෙය ඔහුගේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් දිවියේ වාර්තා වූ පලමු පන්දුවෙන් නිමා වුන එකම නිලකුණු ඉනිම විය.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කූටමුන්ද්‍රා (Cootamundra) හිදී 1908 අගෝස්තු මස 27 වනදා උපත ලබන බ්‍රැඩ්මන් තම කුඩා කාලය බොව්රාල් හීදි ගත කළේය. කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ඇල්මක් දක්වන මොහු තනිවම ක්‍රිකට් ක්‍රීඩා කළේ නිවස පිටුපස ඇති තාප්පයට ගොල්ෆ් බෝලයකින් ගසා ආපසු එන විට එයට පහර දීමෙනි.

මෙම පුරුද්ද නිසා වේගයෙන් එන පන්දුවට තියුණු ලෙස පහර දීමට ඔහුට හැකියාව ලැබුණි. මුලින් ටෙනිස් ක්‍රීඩාවට ඇලුම කළ ද, පසුව සිඩ්නි හී ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹීමත් සමඟ පූර්ණ කාලීනව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන්නට අදිටන් කර ගන්නා බ්‍රැඩ්මන් වයස 19 වන විට ටෙස්ට් වරම් හිමි කර ගැනීමට සමත් විය.

මොහුගේ ස්වර්ණමය තරගාවලිය ලෙස හැඳින්වෙන්නේ 1930 අළුබඳුන තරගාවලිය යි. එහි දී ටෙස්ට් තරග 5ක දී ලකුණු 974ක් ලබා ගන්නා ඔහු තරගාවලියක ලබා ගත් වැඩිම ලකුණු සඳහා වන ලෝක වාර්තාව තමා සතු කර ගැනීමට සමත් විය.

1928 – 1948 දක්වා පුරා වසර 20ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් එවකට තිබූ සියලු වාර්තා බිඳ දමමින් සෑම ඉනිම් තුනකට වරක්ම ශතකයක් වාර්තා කිරීමට තරම් ප්‍රබල පිතිහරඹයක් ප්‍රදර්ශනය කළේය. මෑතක් වන තුරුම ක්‍රිකට් ලොව ත්‍රිත්ව ශතක 2කට හිමිකම් කියූ එකම ක්‍රීඩකයා වූයේ බ්‍රැඩ්මන් ය.

ලෝක යුද්ධය නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කන කොකා හැඬීම සිදු විය. ඒ අනුව ක්‍රිකට් තරග අඩ දශකයක් යන තුරු නොපැවතිණි. එය එසේ නොවුනි නම් බ්‍රැඩ්මන් කොහේ නවතීදෝ කාහටවත් කිව නොහැකිය.

කෙසේ වෙතත් 1948 එංගලන්තයේ දී ඔහු සිය අවසන් තරගයට සහභාගි වී.පන්දු දෙකක් තුල ලකුණු නොලබා දැවී ගියේය. එහි දී ඔහු තවත් ලකුණු 4ක් ලබා ගත්තා නම් ඔහුගේ පිතිකරණ සාමාන්‍ය සියයට 100ක් වීමට තිබුණි. ඔහුගේ මෙම අසාමාන්‍ය හැකියාව නිසා මහ රැජිණ විසින් 1949 දී නයිට් පදවියක් ද ප්‍රදානය කළේය.

ඔහුගේ දක්ෂතා මෙසේය.

පළමු පෙළ තරග: – 234

ලකුණු – 28067
සාමාන්‍ය – 95.14
ශතක – 117
අර්ධ ශතක – 69
වැඩිම ලකුණු – 452
ටෙස්ට් තරග: – 52

ලකුණු – 6696
සාමාන්‍ය – 99.94
ශතක – 29
අර්ධ ශතක – 13
වැඩිම ලකුණු – 334
ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ඔහු සතුව විශේෂ දස්කම්, ගුණාංග රාශියක් තිබුණි. ඒ අතර ඔහුගේ ලේඛන හැකියාව කැපී පෙනේ.

1935 දී How to Play Cricket හා 1958 දී ප්‍රකාශයට පත් වූ The Art of Cricket යන කෘතීන් ඔහු විසින් එළිදැක්වූ ඒවා වන අතර ඒවා ක්‍රිකට් ක්‍රීඩාවේ සම්භාව්‍ය කෘති ලෙස ද සැලකේ. තවද සිය චරිතාපදානය 1950 දී Farewell to Cricket යනුවෙන් එළිදැක්වූ අතර එය ඉතාම ප්‍රසිද්ධියට පත්විය.

මීට අමතරව ක්‍රිකට් පරිපාලකයෙකු සහ තේරීම් කමිටු සාමාජිකයකු ලෙස වසර 30ක් පමණ ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කළ අතර 2000 දී Wisden Cricketer of the Century යන ගෞරවයෙන් පිදුම් ලබන්නට ද සමත් විය.

ක්‍රිකට් ලොවම හඬවමින් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 2001 දී මෙලොවින් සමුගත්තේය. ඔහුගේ නාමය අදටත් ඕස්ට්‍රේලියාව තුල ආරක්ෂිත නාමයකි. එම නාමය කිසිදු දෙයක් සඳහා එරට රජයේ අනුමැතිය නොමැතිව භාවිත කළ නොහැකිය. මේ අසහාය ක්‍රීඩකයාගේ සැමරීම් සහිත බ්‍රැඩ්මන් කෞතුකාගාරය ඔහු ගැන දැන ගන්නට ඇති හොඳම ස්ථානය ලෙස හැඳින්වීමට හැක. ක්‍රිකට් පිටිය පිත්තෙන් දික්විජය කළ එතුමා අමරණීයවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button