CRICKET NEWSRESULTS

ඇන්ජලො, සුරංග ලක්මාල්ගෙන් දක්ෂතා – ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ටෙස්ට් ජයක්

සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

බදාදා සවස කිසිවකු නොදැවී ලකුණු 30 ක් වූ සිම්බාබ්වේ කණ්ඩායම අවසන් දිනයදා උදෑසන ලක්මාල්ගේ ඕවර 3 කට පසුව කඩුලු 3 ට 41 ක් සේ වෙනස් විය. එහෙත් බ්‍රෙන්ඩන් ටේලර් සහ ෂෝන් විලියම්ස් සබදතාවයක් ගොඩ නැගීමට උත්සාහ කළේය.

බ්‍රෙන්ඩන් ටේලර් (38) සහ ෂෝන් විලියම්ස් (39) දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූ නමුත් තරගය පරාජයෙන් බේරා ගැනීම සඳහා අවසන් දිනය පුරාම සටන් කිරීමට සිම්බාබ්වේ පිතිකරුවන්ට සිදුවිය.

කෙසේ වෙතත් ලකුණු සංඛ්‍යාව 120 ක් ව තිබියදී මෙම පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත්කර ගැනීමට සුරංග ලක්මාල් සහ කසුන් රාජිත සමත් වූහ.

ඉන් පසුව පිටියට එක්වූ සීකන්දර් රාසා සහ රෙගීස් චකබ්වා බොහෝ වේලාවක් කඩුල්ල ආරක්ෂා කරගනිමින් පිටියේ රැඳී සිටියද හයවැනි කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ සීකන්දර් රාසා ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය.

ඉන්පසු පන්දුවට පහරදීමට පැමිණි ඩොනල්ඞ් ටිරිපානෝ, කයිල් ජාර්විස් සහ ඒන්ස්ලි එන්ලෝවූගේ කඩුලු තුනම දවාගත් ළහිරු කුමාර ජයග්‍රහණකින් තරගය අවසන් කිරීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ දැමීමට සමත්විය.

මිනිත්තු 186 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 142 කට මුහුණ දුන් රෙගීස් චකබ්වා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට දැඩි උත්සහයක් ගත්තද ලසිත් ඇඹූල්දෙණිය ඔහුගේ කඩුල්ල දවාගනිමින් සිම්බාබ්වේ දෙවැනි ඉනිම අවසන් කිරීමට සමත්විය.

මේ අනුව සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 170 ක් පමණි. ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 13 ක් ඉදිරියෙන් සිය දෙවන ඉනිම අවසන් කළේය.

දිනය අවසන් වීමට ඕවර 13 ක් ඉතිරිව තිබූ අතර ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14 ක ඉලක්කයක් හිමිවිය. ආරම්භක පිතිකරුවන්වූ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 4 ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 10 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button